හෙට ඉන්ධන ලබා දෙනවාද? ඇමැති කාංචන විජයසේකර පැහැදිලි කරයි


ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

එමෙන්ම, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසටයි ඔහු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් ලබාදී ඇත්තේ. 

දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙනවා

අද පස්වරු 4ට බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද මුළු බවුසර් ගණන 381ක්. 

රජයට අයත් බවුසර් 84ක්, ඉන්ධන පිරවුම්හල් බවුසර් 103ක් සහ කුලියට ගත් බවුසර් 194ක් වර්ජනයේ නිරත නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති අතර 95 පෙට්‍රල් සීමා කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබෙනවා. මේ අතර අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් ඉවත්වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම සූදානම් බවයි.

ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3ක් මගින් සිදු කරන බවයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර් එම පාර්ශව තුනයි.

මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සඳහා, පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84%ක වර්ධනයක් වනවා.

එමෙන්ම තවදුරටත් සංශෝධන කිහිපයක් කිරීමට එකඟත්වය පළ කර තිබුනත් ඒම සංශෝධන ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉන්ධන බෙදා හැරීමෙන් එම පෞද්ගලික අංශයේ බවුසර් ඉවත් වුවහොත් එම කාර්යට පැමිණෙන බවුසර් සහ වෙනත් විකල්ප ක්‍රම භාවිතා කිරීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනයන් සිදු කළ යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සිදු කරන බව ඔහු සඳහන් කළා

ඊයේ රාත්‍රියේ ද ඩීසල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, පෙට්‍රල් සහ බොර තෙල් නෞකා දෙකක ගොඩ බෑමේ කටයුතු ද ඉදිරි දින දෙක තුළ සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.